කුරුදු ව්‍යාපෘතියේ අරමුණු

කුරුදු ගස


ප‍්‍රචාරණය
පහසුම මෙන්ම ඉතා බහුලව භාවිත වන කුරුඳු පැළ නිපදවීමේ ක‍්‍රමය වන්නේ කුරුඳු බීජ යොදා ගැනීමයි. මෙයට අමතරව වර්ධක ප‍්‍රචාරණය මගින් ද පැළ නිපදවිය හැක.
බීජ මගින් ප‍්‍රචාරණය
විශාල බීජ සහිත ඉදුණු කුරුඳු ගෙඩි මේ සඳහා යොදා ගන්නා අතර වාණිජ වගාවන් සඳහා එම කුරුඳු ගෙඩි ලබා ගත යුත්තේ පහත සඳහන් ලක්‍ෂණ සහිත මව් ගස් වලිනි.
1. සිනිඳු මතුපිටක් සහිත පොත්ත සහ සෘජු කඳන් සහිත වීම
2. සීඝ‍්‍ර වර්ධනය
3. පොත්ත ඉවත් කර ගැනීමේ පහසු බව
4. රෝග පළිබෝධ වලින් තොර බව
5. මිහිරි බව, සැර ගතිය සහ හොඳ රසය (පොත්ත මදක් හපා බැලීමෙන් මෙය සොයා ගත හැක.)
කඩා ගත් ඉදුණු කුරුඳු බීජ දින 1 - 2 ක් පමණ මතුපිට ආවරණය මෘදු වන තෙක් සෙවනේ ගොඩ ගසා තබා, මෘදු බීජාවරණය ඉවත් කර ජලයෙන් සෝදා පවනේ වියළා ගත යුතුය. පසුව තෝරා ගත් පිරිසිදු බීජ ඉක්මනින් පැළ කළ යුතුය. දිගු කලක් ගබඩා කර තැබීමෙන් ජීව්‍යතාවය නැති වේ. නමුත් දින 4-5 ක් පමණ පවනේ වියළා ගත් පිරිසිදු බීජ වියලි ලී කුඩු සමග මිශ‍්‍ර කර පොලිතින් මලූවල සීල් කර තැබීමෙන් මාස 4 ක් පමණ ජීවී භාවය ආරක්‍ෂා කර ගත හැකිය.
පොලිතින් මළුවල බීජ පැළ කිරීම
මේ සදහා ගේජ් 250 ඝණකම ඇති පොලිතින් භාවිත කර අඟල් 5x8 ප‍්‍රමාණයේ මලූ සකස් කර ගත යුතුය. හොඳින් මිශ්‍ර කර ගත් තවාන් මිශ‍්‍රණය (මතුපිට පස්, හොඳින් දිරන ලද ගොම, රළු වැලි සහ කොහු බත් 1:1:1:1 අනුපාත වලින්) මලූ වලට පිරවිය යුතුය. කුරුඳු බීජ 7-10 පමණ පොලිතින් මල්ලක හොඳින් විසුරුවා, කොහු බත් හෝ තුනී පස් ස්ථරයකින් වැසිය යුතුය. එක් බඳුනක හොඳින් වැඩුණු කුරුදු පැළ 5 ක් අවම වශයෙන් තිබිය යුතුය. බීජ සිටුවා මාස 4-6 කාලයකින් ක්ෂේත්‍රයේ ස්ථාපනය කළ හැක. 
ක්ෂේත්‍රයේ ස්ථාපනය කිරීම
වගා පරතරය - සෙ.මී. 120x120 හා 120x90
වළවල්වල ප‍්‍රමාණය - සෙ.මී. 30x30x30
 
වැයවන මුදල් හා අනෙකුත් ප‍්‍රායෝගික ගැටළු වන අස්වැන්න නෙලීම, කොළ මිටි බැඳීම හා භූමියේ ස්වභාවය සැළකිල්ලට ගෙන සෙ.මී. 120x90 වගා පරතරය යටතේ එක් ස්ථානයකට පැළ 5 ක් සිටුවීම වඩාත් උචිත වේ.
 
වඩාත් බෑවුම් සහිත ඉඩම්වල අඩු පරතරයක් වූ සෙ.මී.120x60 සමග එක් ස්ථානයක පැළ 3 ක් සිටුවීම වඩාත් උචිත වේ. හිරු එළිය වැටීම සඳහා සමෝච්ච රේඛා ආකාරයට සිටුවීම වඩා වැදගත් වේ.
  
වගාව නඩත්තු කිරීම
කුරුඳු පැළ වගාව කුඩා අවධියේදී වල් පැළ වලින් තොරව තබා ගැනීම වඩාත් වැදගත් වේ. නිසි අවස්ථාවේදී වල් මර්ධනය කිරීම තුළින් 50% කින් පමණ අස්වැන්න වැඩි කර ගත හැක.